ගෝලීය වශයෙන් නිමි ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම නොකඩවා පහත වැටීම හේතුවෙන්, තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක්හි පිහිටි මෙත්ලිය පරිශ්‍රය ඉදිරියේ දී මුළුමනින්ම ගෙතීම,ඩයි කිරීම සහ නිමකිරීම හෙවත් ෆැබ්රික්ස් නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගැනීමට MAS Holdings ආයතනය මේ වන විට තීරණය කර ඇත.
පෙබරවාරි මස 19 වන දින කළමනාකාරිත්වය විසින් එහි සේවයේ නියුතු 2200 ක සේවක පිරිසට සිය ආයතනයේ අනාගත උපාය මාර්ගික සැලසුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව මෙතෙක් මෙත්ලිය කර්මාන්තශාලාවේ සිදු වූ ඇඟලුම් නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් MAS ඇඟලුම් කර්මාන්තශාලා වෙත බෙදා හරිනු ලබන බව ද සමාගම පවසයි.
වැඩිදුරටත් කරුණු දක්වමින් MAS Holdings ආයතනය සඳහන් කරන්නේ, ගෝලීය ඇගලුම් ඉල්ලුමේ වෙනස්කම් වලට සාපේක්ෂව, දිගුකාලීන ස්ථාවරත්වය සඳහා ගත් උපාය මාර්ගික සැලසුමේ කොටසක් ලෙස මෙත්ලිය කම්හලේ ඇඟලුම් නිෂ්පාදන නවතා එහි රෙදි නිෂ්පාදනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම පහසුකම් මුළුමනින්ම භාවිතා කරන බවයි.
MAS Holdings සතු අනෙකුත් සියලුම කර්මාන්තශාලා වල මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද එම සමාගම පවසනවා.
සේවක සුභසාධනය සහ වන්දි
මෙත්ලිය කර්මාන්තශාලාවේ සේවකයින් හට මෙරට පිහිටි අනෙකුත් MAS ආයතන වෙත හෝ ජෝර්දානයේ පිහිටි මෙහෙයුම් වෙත මාරුවීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව පුද්ගලික හේතූන් මත මෙම විකල්පය භාර නොගෙන සේවයෙන් ඉවත්වීමට යම් සේවකයෙකු අදහස් කරන්නේ නම් ශ්‍රී ලංකා කම්කරු නීතිය යටතේ නියමිත අවම මට්ටමට වඩා ඉහළ වන්දියක් ගෙවීමට ද සමාගම කටයුතු කරන බව පවසයි.
එමෙන්ම සියලු නීතිමය ගෙවීම් පියවමින් අප්‍රේල් මාසය අවසානය දක්වා වැටුප් සහ අප්‍රේල් මස ප්‍රසාද දීමනාව ද ලබා දෙන බව එම සමාගම පවසයි.
අනාගතය:
මෙම උපායමාර්ගික වෙනස හරහා මෙරට අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.




