Cryptocurrency භාවිතය ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකුලද ?

Cryptocurrency

ශ්‍රී  ලංකාව තුළ ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර නොමැති වුවද, ඒ සම්බන්ධයෙන් නීති හෝ රීති පද්ධතියක් නොමැති වීම හේතුවෙන් ක්‍රිප්ටෝ හෝ අතථ්‍ය මුදල් (Virtual currency) ආයෝජනය කිරීම සඳහා නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතුව ක්‍රිප්ටෝ මුදල් පවතින බව අනාවරණය වීමත් සමඟ, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය පිළිබඳව වර්තමානයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් වාර්තාවට අනුව මෙම කරුණ හෙළි විය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල්වල නීත්‍යානුකූලභාවය පිළිබඳව කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ මෙරට තුළ ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිතා කළ නොහැකි බවයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලංකාව තුළ ගනුදෙනු සඳහා භාවිතා කළ හැක්කේ ශ්‍රී ලංකා රුපියල පමණක් බවයි.

මහ බැංකුව හරහා විශේෂ අවසරයක් ලබාගෙන ඇති අවස්ථාවලදී හැර, ඇමරිකානු ඩොලර් පවා මෙරට ගනුදෙනු සඳහා භාවිතා කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා විශේෂ ප්‍රතිපාදන සලසා ඇති බව ද අධිපතිවරයා පැහැදිලි කළේය.

.ශ්‍රී ලංකාවේ නීතිය යටතේ නියාමනය වන භාණ්ඩාගාර බිල්පත් සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වැනි විවිධ අංශවල ආයෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර ඇති බව වීරසිංහ මහතා පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ ආයෝජන මෙන්ම කැසිනෝ ආශ්‍රිත ගනුදෙනු ද දේශීය නියාමනයන්ට යටත් වන අතර, එමගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධ අතථ්‍ය සහායක සේවා සපයන්නන් (Virtual assistance service providers) මුදල් විශුද්ධිකරණ කටයුතුවලට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා නව නීති සකස් කරන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Share it :