ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් අතරට අයත් පෑන් ඒෂියා බැංකුව (PABC) , මුල්‍ය කටයුතු සඳහා තාක්ෂණය සපයන ගෝලීය ප්‍රමුඛතම ආයතනයක් වන Pine Labs සමඟ නව හවුල්කාරිත්වයක් සඳහා නොබෝදා එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා පෑන් ඒෂියා බැංකුව හට අංගසම්පූර්ණ කාඩ්පත් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.
Pine Labs සමාගම විසින් පෑන් ඒෂියා බැංකුව සඳහා පූර්ණ ප්‍රවේශයකින් යුත් ක්‍රෙඩිට් කාඩ් කළමනාකරණ පද්ධතියක් (Credit Card Management System) ස්ථාපිත කරනු ලැබේ. මෙමඟින් එකවර ගනුදෙනු විශාල ප්‍රමාණයක් හැසිරවීමට සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහතික කරන අතර, බැංකුවේ කාඩ්පත් සේවාවන් පහසුවෙන් වර්ධනය කිරීමටද ඉඩ සලසයි. Pine Labs හි Credit+ පද්ධතිය හරහා කාඩ්පත් නිකුත් කිරීම, සක්‍රිය කිරීම, බිල්පත් සැකසීම, ගෙවීම් සැකසීම, ගිණුම් සැසඳීම සහ පියවීම් ඇතුළු ක්‍රෙඩිට් කාඩ් ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා සියලුම කටයුතු පහසුවෙන් හැසිරවීමට පෑන් ඒෂියා බැංකුව හට හැකිවේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Pine Labs සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අම්රිෂ් රාවු මහතා පවසා සිටියේ ” නවීන ක්‍රෙඩිට් කාඩ් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අපි පෑන් ඒෂියා බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින්නෙමු. ක්ලවුඩ් (Cloud) තාක්ෂණය සහ API පදනම් කරගත් අපගේ මෙම පද්ධතිය, ඉතා නම්‍යශීලී මෙන්ම පහසුවෙන් ඒකාබද්ධ කළ හැකි ලෙස නිර්මාණය කර ඇත. එමගින් කාඩ්පත් ගනුදෙනු වර්ධනය වන විට, එහි සැකසුම් , සීමාවන් සහ රීතීන් පිළිබඳ පූර්ණ පාලනය බැංකුව සතු කරමින්, ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට බැංකුවට අවස්ථාව සැලසේ.”
Pine Labs සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය අපගේ ගනුදෙනුකරුවන්ට වේගවත්, සහ වඩාත් ආරක්ෂිත කාඩ්පත් සේවාවන් සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරන අතරම, අපගේ දිගුකාලීන වර්ධනය සහ නවෝත්පාදන අරමුණු සඳහා සහාය වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමට ද උපකාරී වන බව පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා පැවසීය.
Pine Labs සමාගමේ Credit+ පද්ධතිය, බැංකුවේ මූලික බැංකු පද්ධතිය (core banking platform) සහ ගෙවීම් ජාලයන් සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වනු ඇත. එමෙන්ම, API තාක්ෂණය හරහා නීති රීති සහ සීමාවන් අවශ්‍ය පරිදි සැකසීය හැකිවේ . මෙහි පවතින නම්‍යශීලී සැලසුම නිසා, බැංකුවේ මූලික පද්ධතියට (core banking system) විශාල වෙනස්කම් සිදු කිරීමකින් තොරවම, නව කාඩ්පත් හඳුන්වා දීමටත්, ගනුදෙනු ක්ෂණිකව අනුමත කිරීමටත්, අවශ්‍ය වෙනස්කම් ඉක්මනින් සිදු කිරීමට මෙන්ම වෙළඳපල හෝ නීතිමය අවශ්‍යතාවලට අනුව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට බැංකුවට හැකිවේ.
Pine Labs සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු සමඟ මාස කිහිපයක් ඇතුළත හවුල්කාරිත්වයක් ඇති කරගත් දෙවන අවස්ථාව මෙය වේ. මෙම කලාපයේ බැංකු පද්ධති පැරණි කාඩ්පත් කළමනාකරණ ක්‍රමවේදවලින් බැහැරව වඩාත් කඩිනම් සහ නවීන විකල්පයන් වෙත යොමු වී සිටින බැවින්, නව්‍ය සහ අනාගතයට ගැළපෙන කාඩ්පත් නිකුත් කිරීමේ සහ සැකසීමේ විසඳුම් ලබා දෙන විශ්වාසදායක තාක්ෂණික හවුල්කරුවෙකු ලෙස Pine Labs ආයතනය ශක්තිමත්ව ස්ථාපිත වී ඇත.
Pan Asia Bank පිළිබඳව
Pan Asia බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයකි. සාම්ප්‍රදායික වටිනාකම් සුරකිමින්, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සහ සේවාවන් පිරිනමමින් බැංකු ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දීමට පුරෝගාමීව කටයුතු කර තිබේ. පෑන් ඒෂියා බැංකුව දේශීය සාරධර්මවලට ගරු කරමින් ‘සැබෑ ශ්‍රී ලාංකික බැංකුවක්’ ලෙස සිය සුවිශේෂී සන්නාමය ගොඩනගා ඇත. නවෝත්පාදනය සහ වර්ධනය කෙරෙහි ඇති උනන්දුව මෙන්ම, අවධානම් නිසි ලෙස කළමනාකරණය කිරීම නිසා බැංකු ක්ෂේත්‍රය මුහුණ දුන් අභියෝගාත්මක කාලසීමාවන් තුළ වුවද සිය ස්ථාවරත්වය තහවුරු කර ඇත.
එහි සාර්ථකත්වය තමන් සේවය කරන ප්‍රජාවන් සමඟ සමීපව බැඳී පවතින අතර, තිරසාර මූල්‍යකරණය සහ ප්‍රබල සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) හරහා එම ප්‍රජාවන් සවිබල ගැන්වීමට බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි.
Pine Labs Limited පිළිබඳව
Pine Labs Limited යනු ඉන්දියාවේ සහ ලොව පුරා ඩිජිටල් ගෙවීම් සහ කාඩ්පත් නිකුත් කිරීම සඳහා විසදුම් ලබා දීම මඟින් වාණිජ කටයුතු ඩිජිටල්කරණය කරන තාක්ෂණික සමාගමකි. වෙළඳුන්, පාරිභෝගික වෙළඳ නාම, ව්‍යවසායන් සහ මූල්‍ය ආයතනයන්හි ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා අපි දියුණු තාක්‍ෂණික යටිතල පහසුකම් ගොඩනගා ඇත්තෙමු. මේ වන විට ඉන්දියාවට අමතරව මැලේසියාව, පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ අප්‍රිකාව ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොළවල් ගණනාවක අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
අපගේ ඩිජිටල් ගෙවීම් අංශය online ගනුදෙනු ආරක්ෂිත සහ බාධාවකින් තොරව සිදු කිරීමට ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා දෙන අතර, මූල්‍ය ආයතන සඳහා අවශ්‍ය ෆින්ටෙක් (Fintech) යටිතල පහසුකම් සහ මූල්‍ය විසඳුම් සපයන්නෙමු.
එමෙන්ම අපගේ කාඩ්පත් නිකුත් කිරීමේ අංශය (Issuing business), පෙරගෙවුම් කාඩ්පත් සහ තෑගි කාඩ්පත් සඳහා පූර්ණ තාක්ෂණික සේවා විසඳුම් ලබා දෙයි. අපි බොහෝ රටවල් හරහා සිල්ලර (Retail) ආගන්තුක සත්කාර සහ සංචාර ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් සඳහා සේවාවන් සපයනු ලැබේ. අපි ප්‍රධාන වශයෙන් ඉන්දියාව, මැදපෙරදිග, අග්නිදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සඳහා පෙරගෙවුම් සේවාවන් ලබා දෙන අතර, දැනට ‘Credit+’ සේවාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව යන කලාපවල ක්‍රියාත්මක කර ඇත.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.pinelabs.com




