Pine Labs සහ WEBXPAY එක්ව ඉන්දියානු ගෙවීම් ක්‍රම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි –

Pine Labs ,WEBXPAY

Pine Labs සහ WEBXPAY සමාගම් දේශසීමා හරහා සිදුකරන ගෙවීම් කටයුතු පහසු කිරීම සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණි.  මෙමඟින් ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේදී තමන්ට හුරුපුරුදු UPI, කාඩ්පත් සහ අන්තර්ජාල බැංකු සේවා භාවිතා කර පහසුවෙන් ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට වැඩි ආදායමක් උපයා ගැනීමට  හැකියාව ලැබෙනු ඇත.

2025 වසරේදී ඉන්දියානු සංචාරකයින් 530,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ අතර, ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ බවට පත්ව ඇත. මෙම තත්ත්වය තුළ ඉන්දියානු සංචාරකයින්ට තම රටේදී භාවිත කරන ගෙවීම් ක්‍රම මෙරටදී ද  භාවිතා  කිරීමට අවස්ථාව සැලසීම වැදගත් පියවරක් වේ .

ඉන්දියාවේ මහ බැංකුව (RBI) විසින් අනුමත කරන ලද PA-CB රාමුව යටතේ, ශ්‍රී ලංකාවේ ගෙවීම් එකතු කිරීමේ සේවා සපයන (Payment Aggregator )සමාගම් දෙකක් අතර මෙවැනි ආකාරයේ හවුල්කාරිත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙමඟින් ඉන්දියාවේ බලපත්‍රලාභී ගෙවීම් සේවා සපයන සමාගම් වලට ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන සමාගම් සමඟ සෘජුවම හවුල් වීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් ඉන්දියානු සංචාරකයින් හට  නියාමනයට අනුකූලව සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඔවුනට  හුරුපුරුදු ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට හැකියාව ලැබේ .

මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා ආගන්තුක සත්කාර (hospitality), සංචාරක, සිල්ලර වෙළඳාම සහ මාර්ගත අළෙවී කිරීම් (online commerce) වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන WEBXPAY හි වෙළඳ ජාලයට UPI, UPI AutoPay, ප්‍රධාන ඉන්දියානු කාඩ්පත් නිකුත් කරන්නන්ගේ කාඩ්පත්, බැංකු 100+ කට වැඩි ගණනක Net Banking, EMI පරිවර්තන, සහ Credit on UPI යන ගෙවීම් ක්‍රම භාර ගත හැකිවේ.

මෙහි T+1 පදනම යටතේ  ඊළඟ ව්‍යාපාරික දිනයේදී ගෙවීම් පියවීම ද සිදු කල හැකිය. මෙය  WEBXPAY හි දැනට පවතින පද්ධති සමඟ ඒකාබද්ධ කර ඇති අතර, පළමු දිනයේ සිටම පුළුල් පරිමාණයෙන් භාවිත කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ.

ඉන්දියානු සංචාරකයන්  ශ්‍රී ලංකාවේ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන බැවින්  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට මෙම හවුල්කාරිත්වය තුළින් සැලකිය යුතු වාණිජමය වාසියක් අත්කර ගැනීමට හැකි වේ. ඒ සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්ට දැනට පවතින ගෙවීම් පද්ධතිවල  වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවේ.

WEBXPAY හි විධායක සභාපති තිලක් පියදිගම මහතා පැවසුවේ, ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ මෙන්ම වැදගත් ආර්ථික හවුල්කරුවකු ද වන බවයි. ඉන්දියානු පාරිභෝගිකයන් භාවිතා කරන ගෙවීම් ක්‍රම  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිවලට එක් කිරීමෙන් ගෙවීම් කිරීමේදී ඇතිවන බාධා අවම වන අතර , ඔවුන්ගෙන්  වැඩි ආදායමක් උපයා ගැනීමට අපගේ ව්‍යාපාරිකයන්ට හැකි වන බව ඔහු සඳහන් කළේය.

“අපි Pine Labs සමාගම සම්බන්ධ වුයේ  ඔවුන්ගේ ශක්තිමත් ඉන්දියානු ගෙවීම් පද්ධතිය, විවිධ ගෙවීම් ක්‍රම සහ නීත්‍යානුකූලව විශාල ලෙස වැඩ කිරීමට ඇති හැකියාව නිසයි. මෙම හවුල්කාරිත්වය හරහා  ලෝකයේ විශාලතම පාරිභෝගික පිරිසක් සිටින ඉන්දියානු වෙළඳපොළට පහසුවෙන්ම සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට අවස්ථාව ලැබෙනවා.”එමෙන්ම, අනාගතයේදී මෙම සේවාව වෙනත් රටවලටද ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මෙම හවුල්කාරිත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා හරහා සිදුවන ඩිජිටල් ගෙවීම් පහසු කිරීමේ වැදගත් පියවරක් වන අතර, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහ දේශීය ව්‍යාපාරවල ආදායම් අවස්ථා පුළුල් කිරීමට ද දායක විය හැකිය.

Share it :