2025 වසර සඳහා වාර්තා බිඳ දමමින් සංචාරකයින් 2,362,521 දිවයිනට 

2025 වසර සඳහා සංචාරකයින් 2,362,521 දිවයිනට

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2025 වසරේදී ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සංචාරකයින් 2,362,521  සාදරයෙන් පිළිගෙන ඇත. මෙය 2018 වසරේ පිහිටුවා තිබූ 2,333,796ක වාර්තාගත පැමිණීම අභිබවා ගොස් ඇති අතර  2024 වසරට සාපේක්ෂව  15.1%ක වාර්ෂික වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ..

දෙසැම්බර් මාසයේ ඉහළම වර්ධනයක් වාර්තා කිරීම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට  (SLTDA) අනුව, 2025 දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයින් 258,928 ක්  මෙරටට පැමිණ ඇති අතර, එය 2018 වසරෙන් පසු මෙරට වාර්තා වූ ඉහළම මාසික පැමිණීම වේ. මෙම පිරිසගෙන්  ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් (56,715) පැමිණ ඇති අතර, රුසියාව (27,987), එක්සත් රාජධානිය (20,535) සහ ජර්මනිය (16,707) යන රටවල් පිළිවෙලින් ඊළඟ ස්ථාන ලබාගෙන ඇත. 2025 වසරේ සමස්ත පැමිණීම සලකා බැලීමේදී   ඉන්දියාව ප්‍රධානතම වෙළඳපොළ ලෙස පැවති අතර, එක්සත් රාජධානිය, රුසියාව සහ ජර්මනිය පිළිවෙලින් දෙවන, තුන්වන සහ සිව්වන රටවල් ලෙස සඳහන් වේ. 

මේ පිලිබඳ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, විවිධ පසුබෑම් මධ්‍යයේ වුවද සංචාරක ගමනාන්තයක් ලෙස ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාව තුල පවතින බව මෙම වාර්තාගත දත්තයන්ගෙන් පිළිබිඹු වන බවයි.. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ්-19 වසංගතය, 2022 දරුණු ආර්ථික අර්බුදය,Travel Advisories සහ 2025 නොවැම්බර් මාසයේ ඇති වූ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවේ බලපෑම වැනි අභියෝග රැසකට මුහුණ දුන් මෙම කර්මාන්තය ලැබූ මෙම ජයග්‍රහණය සුවිශේෂී සන්ධිස්ථානයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2026 වසර සඳහා උපායමාර්ගික සැලසුම්

 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) 2026 වසර සඳහා සංචාරකයින් මිලියන 3ක ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. මෙය 27%ක වාර්ෂික වර්ධනයකි . රටේ ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයේ ප්‍රධානතම  කුළුණක් වන  සංචාරක ක්ෂේත්‍රය වඩාත්  ශක්තිමත් කිරීම සඳහා වර්තමාන රජය විසින් මෙම ඉලක්කය කරා ලඟා වීමට පහත සඳහන්   වැඩපිළිවෙළවල් කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඉන්දියානු වෙළඳපොළ කෙරෙහි අවධානය: ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ සහයෝගය ඇතිව, මුම්බායි හිදී ප්‍රධාන පෙළේ සංචාරක මෙහෙයුම්කරුවන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රවර්ධන වැඩසටහන් (Roadshows) පැවැත්වීම.

  • වීසා රහිත ප්‍රවේශ ක්‍රමය: සංචාරක බාධක අවම කර තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා 2026 පළමු කාර්තුවේදී මෙම ක්‍රමය හඳුන්වා දීමට නියමිතය.

කලාපීය ව්‍යාප්තිය: “බෞද්ධ සංචාරක කලාපය” (Buddhist circuit) හරහා සිංගප්පූරුව, මැලේසියාව සහ තායිවානය ඉලක්ක කරන අතරම, ඇමරිකාව සහ ආසියා පැසිෆික් කලාපය දෙසට ද අවධානය යොමු කිරීම.

ආදායම් සහ වියදම් සංශෝධන

2025 වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2024 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 3.17ට වඩා තරමක් ඉහළ අගයකි. කෙසේ වෙතත්, 2025 අගෝස්තු මාසයේ සිදු කළ යාවත්කාලීන තක්සේරු කිරීම්වලට අනුව, සංචාරකයෙකු ගේ දෛනික වියදම ඩොලර් 171 සිට (2018 සමීක්ෂණය මත පදනම් වූ) ඩොලර් 148 දක්වා SLTDA විසින් සංශෝධනය කරන ලදී.

දිගුකාලීන දැක්ම

ගෝලීය අලෙවිකරණ සහ වීසා රහිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පැවතුණද, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටිති. 2030 දක්වා වූ පස් අවුරුදු සැලසුම යටතේ, රජය වාර්ෂිකව සංචාරකයින් මිලියන 5කට අධික ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීමටත් ඉලක්ක කරයි. එමගින් සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ මූලික පදනමක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

Share it :